ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී. මෙරට බදු ආදායම් පද්ධතිය නවීකරණය කිරීම සහ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
බදු ආදායම් පදනම පුළුල් කිරීම සහ දැනට අය වීමට ඇති හිඟ බදු මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ද ජනාධිපතිවරයා විසින් සමාලෝචනය කරන ලදී.
බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක විය යුතු ප්‍රතිව්‍යුහගතකරණ සහ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු විය.
ජාතික e-invoicing පද්ධතිය (විද්‍යුත් ඉන්වොයිස් පද්ධතිය) හඳුන්වා දීමේ වත්මන් ප්‍රගතිය සහ ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර, එම සමස්ත ව්‍යාපෘතිය නියමිත කාලරාමුවකට අනුව කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රජයේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවට ද සහතික විය.











