අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇයගේ නිල නිවාසයේදී බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී වින්දිත වෛද්‍යවරිය පළමු වරට අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් අද (අගෝස්තු 29) සාක්ෂි ලබා දුන්නාය.
හිටපු යුද හමුදා සෙබළෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරියේ කැඳවා තිබිණි. වෛද්‍යවරිය සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී නඩුවට අදාළ නොවන සියලු දෙනා විනිසුරුවරයාගේ නියෝගයෙන් අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගැනුණි.
සාක්ෂි විමසීමෙන් අනතුරුව, ලබන ඔක්තෝබර් මස 19 වන දින නැවත වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. මෙම අපරාධය සිදුවී තිබුණේ 2025 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදීය.














