දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින් නැඟෙනහිර පළාතේ සිදුකරන ඉඩම් අල්ලා ගැනීම් හේතුවෙන් බරපතළ සමාජීය සහ පාලන ගැටලු රැසක් මතුව ඇති බැවින්, එම ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ (DIG) ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (23) පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සක්‍රීයව එක්වෙමිනි.
එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පවතින දැඩි ගුරු පුරප්පාඩු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, කලාප අධ්‍යාපන කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය පරිපාලන ව්‍යූහයන් ස්ථාපිත කිරීම හෝ වෙනස් කිරීම දේශපාලන අවශ්‍යතා මත සිදුනොකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එවැනි තීරණ තනිකරම රාජ්‍ය පරිපාලනමය ක්‍රියාවලියකට අනුව විද්‍යාත්මකව සිදුවිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, සමස්ත රාජ්‍ය සේවයම දේශපාලන ග්‍රහණයෙන් මුදාගෙන විනිවිදභාවයෙන් යුතුව මහජනතාවට සේවය සැලසීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.














