දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන උග්‍ර පානීය ජල ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක සියලුම ජලසම්පාදන ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජල ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී මුදල් ගැටලුවක් කර නොගෙන හැකිතාක් දුරට දේශීය අරමුදල් යොදා ගනිමින් එම කටයුතු නිම කළ යුතු බවයි.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, යාපනය, අනුරාධපුර සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක රැසක පවතින ජල ගැටලු පිළිබඳව මෙහිදී වෙන් වෙන්ව අවධානය යොමු විය. කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘වී ඔය’ ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමටත්, උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘතිවල වැඩ කටයුතු සැලසුම් සහගතව ඉදිරියට ගෙන යාමටත් නියෝග කෙරිණි. ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම ඵලදායී ලෙස භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, ව්‍යාපෘති ප්‍රමිතියෙන් යුතුව නිම කිරීම සඳහා අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත අතිරේක කාර්ය මණ්ඩල බඳවා ගැනීමට ද අවසර ලබා දුන්නේය.














