තායිලන්තයේ සිට මෙරටට පැමිණි මූල්‍ය කළමනාකරුවෙකු සන්තකයේ තිබූ රුපියල් පනස් එක් ලක්ෂ විසිදහසක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මෙම සැකකරු ඊයේ (08) රාත්‍රියේ තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානයකින් බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇත.
ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කළ සැකකරු පිළිබඳ ඇති වූ සැකය මත නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී, ඔහුගේ අත් බෑගයේ තිබූ පෝෂණීය ආහාර අඩංගු බෝතල් දෙකක සඟවා තිබූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 512ක ප්‍රමාණයක් සොයා ගැනිණි. ඇසුරුම් තුනක් ලෙස සකස් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට රේගුව පියවර ගෙන ඇත.














