පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකරන ලද “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ සමාරම්භක අවස්ථාවේදී අදහස් දක්වමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේ මෙමඟින් ජනතාවට හුදෙක් නිවසක් පමණක් නොව අභිමානයක්, අයිතියක්, ආරක්ෂාවක් සහ නව ජීවිතයක් උරුම කර දී ඇති බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු අමාත්‍යාංශයේ මූලික කාර්යභාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුනාගෙන, ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් හා ඉහළ ප්‍රමිතියකින් එය සාර්ථක කර ගැනීමට හැකි වීම ජාතික මට්ටමේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය කාලය පුරා විවිධ පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් 2004 වැනි ඈත වසරවලදී ආරම්භ කර වසර 22කට අධික කාලයක් තිස්සේ අතරමග නැවතී තිබූ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති රැසක් පිළිබඳව වත්මන් රජයේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. බදුල්ල දිස්ත්‍රික්කය තුළ ගත වූ වසර 10ක කාලය තුළ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ඉදිකර තිබුණේ නිවාස 734ක් වැනි අල්ප සංඛ්‍යාවක් වුවද, වත්මන් රජය බලයට පත්ව වසර දෙකක් ගත වීමටත් පෙර දිස්ත්‍රික්කය තුළ නිවාස 4000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කිරීමට සමත් වී තිබීම ආණ්ඩුවේ කාර්යක්ෂමතාව මනාව පෙන්නුම් කරයි. මීට අමතරව, ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන නිවාස 10,000ක ව්‍යාපෘතිය ඇතුළු වැඩසටහන් හරහා මෙරට වැවිලි බෝග ක්ෂේත්‍රයට අතිමහත් දායකත්වයක් සපයන මලෛයගම් ප්‍රජාවේ ජීවන තත්ත්වය නංවාලීමට පුළුල් පදනමක් සකසා ඇත.
මෙරට තේ අපනයනය හරහා වාර්ෂිකව ඩොලර් බිලියන 1.5ක ආදායමක් උත්පාදනය කරමින් ජාතික ආර්ථිකය පෝෂණය කරන මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් 2023 වසරේ හැටන් ප්‍රකාශනය හරහා ලබා දුන් පොරොන්දු අද යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. මීට පෙර පැවති පාලනයන් යටතේ මුූලික පහසුකම් පවා අහිමිව කොන් වී සිටි මෙම ජනතාවට අභිමානවත් පුරවැසි අයිතිය ලබා දීම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පවතින අතර, ඉදිරියේදීත් ක්‍රමානුකූලව මෙම සංවර්ධන ප්‍රතිලාභ දිවයින පුරා විසිරී සිටින අසරණ ජනතාව වෙත ළඟා කර දීමට කටයුතු කෙරෙනු ඇත.














