විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළමු අදියර සාර්ථකව අවසන් කරමින්, 2026 මැයි මාසය වන විට විශ්‍රාමිකයන් 429,000කට අදාළ ගෙවීම් සිදුකර අවසන් කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රතිශෝධනය ලැබිය යුතු පිරිසෙන් 98%කට අධික ප්‍රමාණයකට මේ වන විටත් එම ගෙවීම් ලැබී තිබේ. සමස්තයක් ලෙස මේ වන විට විශ්‍රාම වැටුප් පද්ධතියේ විශ්‍රාමිකයන් 463,000ක් ලියාපදිංචි වී සිටින අතර, මසකට අලුතින් විශ්‍රාමිකයන් 2,500ක් පමණ මෙම පද්ධතියට එක් වේ.
ප්‍රතිශෝධන ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ප්‍රතිශෝධනයේ දෙවන පියවර එළඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිලධාරීන්ගේ කටයුතු ඇගයීමට ලක් කළේය.
විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විටත් මාර්ගගත (Online) පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙමගින් විශ්‍රාමිකයන් 397,154කගේ දත්ත ස්වයංක්‍රීයව ගණනය කර අවසන් කර ඇති අතර, මෙම නව තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව රට පුරා සිටින විශ්‍රාම වැටුප් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ තාක්ෂණික ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිකය වෙන වෙනම ගණනය කිරීම නිසා පැන නැගී ඇති කාර්යබහුලත්වය අවම කිරීමටත්, දීර්ඝ කාලයක සිට පවතින හිඟ මුදල් ගැටලු කඩිනමින් විසඳීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම විශ්‍රාමිකයන්ගේ දත්ත සුරක්ෂිත කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














