ජනතාව ආණ්ඩුව සමග සිටින බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය අනිවාර්යයෙන්ම ඇති කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගොවි ජනතාව මුහුණ දෙන වී මිලදී ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පසුගිය මහ කන්නයේ සහ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් දස ලක්ෂ විසි දෙදහසක මුදලක් වෙන් කර ඇති බව අවධාරණය කළේය. වී අස්වනු ගොවි ජනතාවට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ වගකීමක් බව පැවසූ ජනාධිපතිවරයා, වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීම සහ පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය මුදල් ලබා දීම හරහා ගොවීන්ගේ ප්‍රශ්න පියවරෙන් පියවර විසඳමින් සිටින බවත් පෙන්වා දුන්නේය.
රටේ ජනතාව පූර්ණ විශ්වාසයකින් ආණ්ඩුව සමඟ එක්ව සිටින බවත්, ඇතැම් පාර්ශවවල විරෝධතා පැවතියද ජනතාව බලාපොරොත්තු වන රටේ පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුව කැපවී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















