ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකා සඳහා ගබඩා පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් පෙට්‍රල් කෝටාව ඉහළ දැමීමට පියවර ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහරගමදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියක් අමතමිනි.
දැනට මෙරටට ලැබී ඇති ඉන්ධන තොග හේතුවෙන් ගබඩා පහසුකම් සීමා වී ඇති බවත්, මීළඟ නෞකාව පැමිණෙන විට ගබඩා යම් ප්‍රමාණයකට හිස්ව තිබිය යුතු බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු පැහැදිලි කළේය. එසේම ලෝක වෙළඳපොළේ මිල ගණන් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ ද එය එසේ නොවූ බැවින් ඉදිරියේදී ඉන්ධන මිලෙහි යම් උච්චාවචනයක් සිදුවිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඕනෑම අභියෝගයක් හමුවේ ජනතාවට අපහසුවකින් තොරව අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














