රජයේ ඉඩම් ඌණ භාවිතය මඟහරිමින්, කාලයට ගැළපෙන පරිදි නව ඉඩම් ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන ආඥා පනත්වලට අදාළ චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන සේ සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුව සමඟ අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ කැඳවුම්කාරීත්වයෙන් යුත් මෙම විශේෂ කමිටුව විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රාජ්‍ය ආදායම් හිතකර අයුරින් වර්ධනය වන ලෙසත්, බදුකරුවන් අගතියට පත් නොවන ලෙසත් විශ්වාසනීය හා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වී තිබේ.
ඒ අනුව, දීර්ඝකාලීන බදු ලබා දීමේදී සහ නිදහස් දීමනාපත්‍ර නිකුත් කිරීමේදී අය කෙරෙන වාර්ෂික බදු මුදල් නැවත සමාලෝචනය කිරීම, පැරණි චක්‍රලේඛ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය හෝ අවලංගු කිරීම සහ නව නියෝග සකස් කිරීම සඳහා වන නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















