ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (08) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝග නිකුත් කළේය.
අදාළ ව්‍යාපෘති ආරම්භ කරන දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කරන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දුන්නේය. විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙසත්, සැලසුම් කටයුතු සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, එසේ නොවීමෙන් අමතර වියදම් දැරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන් මතු වන බව පෙන්වා දුන්නේය. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, අනුරාධපුර, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූ බව වාර්තා වේ.














