උතුරු සහ නැගෙනහිර පළාත්වල යුධ සමයේදී ආරක්ෂක අංශ විසින් අත්පත් කරගනු ලැබූ, එහෙත් වර්තමානයේ ආරක්ෂක කටයුතු සඳහා තවදුරටත් අනවශ්‍ය වන ඉඩම් හැකි ඉක්මනින් ජනතාවට මුදාහරින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර ඇති අතර, හමුදා කඳවුරු සඳහා ලබාගත් පෞද්ගලික ඉඩම් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් විසින් මීට පෙර භාවිත කරන ලද රාජ්‍ය ඉඩම් යළි ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම මෙහි අරමුණයි.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දිය යුතු අතරම, කුමන ඉඩම් රඳවාගත යුතුද සහ කුමන ඉඩම් මුදාහැරිය යුතුද යන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ ආරක්ෂක අංශ විසින් තීරණය කළ යුතු බවයි. තවද, ජනතාවට උපරිම ඉඩම් ප්‍රමාණයක් මුදා හැරීමත් සමඟ ඔවුන්ගේ ජීවෝපාය මාර්ග නංවාලීම සඳහා නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් හඳුන්වා දෙන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, භූ හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.














