ජනාධිපති අරමුදලේ සේවාවන් ජනතාවට වඩාත් කාර්යක්ෂමව සහ කඩිනමින් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද විමධ්‍යගත කිරීමේ වැඩසටහන යටතේ, 2025 වසරේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ විශේෂ උත්සවයක් පසුගියදා (06) කොළඹ මිල්කෝ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම උත්සවය කථානායක සහ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් විශේෂ ඇගයීමට ලක්විය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කඩුවෙල සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, බියගම සහ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, වේරුල්ල සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා සඳහන් කළේ, 1978 සිට කොළඹ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ ජනාධිපති අරමුදල ජනතාව වෙතම ගෙන යාම සඳහා මෙම විමධ්‍යගත කිරීම සිදු කළ බවයි. “පුළුල් නැත” යනුවෙන් පැවති ජනාධිපති අරමුදල, අද වන විට “අපි ඔබට දෙනවා” යන අර්ථය සහිතව ජනතාවට සමීප වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරිවරුන්, කළමනාකරණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ක්ෂේත්‍ර රාජකාරිවල නිරත සියලුම නිලධාරීන් කාල වේලාවකින් තොරව, කිසිදු පැකිලීමකින් තොරව සහ බාධක මධ්‍යයේ වුවද ඉටු කළ විශිෂ්ට සේවාව මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.
















