කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී දඹුල්ල, ඉගිරිය, වාලච්චේන, මිල්පනික සහ කටුනායක ආදී ප්‍රදේශවල නව කර්මාන්ත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු විය. එම කලාප සඳහා අවශ්‍ය විදුලිය, ජලය සහ මාර්ග වැනි යටිතල පහසුකම් සංවර්ධනයේදී මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා, කල්ගත වූ ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
සාකච්ඡාවේදී සීනි සහ ලුණු කර්මාන්ත ඇතුළු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනයේදී පවතින ගැටලු සහ විකල්ප යෝජනා සාකච්ඡාවට ලක්විය. විවිධ රජයන් මගින් ආරම්භ කර නිම නොකළ ආයතන හේතුවෙන් ජනතා බදු මුදල් අපතේ යාම පිළිබඳව අවධානය යොමු කරමින්, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම, ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තන අධිකාරියක් (EITA) පිහිටුවීමට අදාළ යෝජනා සහ වැඩපිළිවෙළ සමාලෝචනය කෙරිණි. කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීම සඳහා ලබා දිය හැකි පොදු සහන පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා, අපේ රටට ආවේණික නිපුණතාවන් ගොඩනැගීම සඳහා නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍ර තෝරාගෙන ඒවා සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම අතිශය වැදගත් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
















