29 April 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණය ඔක්. 14 පෙර පැවැත්විමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි – පැෆ්රල්

වස්ථානුකූලව ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 14 දිනට පෙර පැවැත් විය යුතු අතර,ඒ පිළිබඳ සම්පූර්ණ බලය හා වගකීම මැතිවරණ කොමිෂන් සභාවට ඇති බැවින්, යම් දේශපාලන බලයක් භාවිත කරමින් මැතිවරණ දින වෙනස් කිරීමේ හැකියාවක් කිසිවකුට නොමැති බව පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ නාම යෝජනා කාලය හා ප‍්‍රචාරණ කාලය පිළිබඳව ප‍්‍රායෝගික කරුණු සලකා බලා නියමිත කාලයේදී ඔබ කොමිෂන් සභාව විසින් මැතිවරණ දින ප‍්‍රකාශයට පත්කරනු ඇති බව විශ්වාස කරන බවයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව.
රාජගිරිය.
2024-04-08

ගරු සභාපතිතුමනි,

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සඳහා ආරාධනා කිරීම පිළිබඳවයි.

මේ වන විට රට තුළ මැතිවරණ උණුසුමක් ගොඩනැගී ඇති අතර, මැතිවරණ කිහිපයක් පිළිබඳව දේශපාලන පක්ෂවල අවධානය යොමු වී ඇති බව පෙනේ. වස්ථානුකූලව ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 14 දිනට පෙර පැවැත් විය යුතු අතර,ඒ පිළිබඳ සම්පූර්ණ බලය හා වගකීම ඔබතුමා ප‍්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාවට ඇති බැවින්, යම් දේශපාලන බලයක් භාවිත කරමින් මැතිවරණ දින වෙනස් කිරීමේ හැකියාවක් කිසිවකුට නොමැත.

නාම යෝජනා කාලය හා ප‍්‍රචාරණ කාලය පිළිබඳව ප‍්‍රායෝගික කරුණු සලකා බලා නියමිත කාලයේදී ඔබ කොමිෂන් සභාව විසින් මැතිවරණ දින ප‍්‍රකාශයට පත්කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

ඉදිරි මැතිවරණයේදී ප‍්‍රධාන පෙලේ අපේක්ෂකයන් කිහිපදෙනෙකු තරඟවදින බව පෙනී යන බැවින් දැඩි තරඟකාරීත්වයක් පෙන්නුම් කරන අතර අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතියද පළමුවරට ක‍්‍රියාත්මක වීමට නියමිතය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ප‍්‍රධාන මාධ්‍ය ධාරාවන් මෙන්ම සමාජ මාධ්‍යද බහුලව භාවිත වීමට ඉඩ ඇත. ඒ අනුව ඉදිරි මැතිවරණය දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගනු ඇත.

එබැවින් අප ඔබතුමා ඇතුළු කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ මෙවර මැතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් කැඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ලෙසයි. දේශීය මෙන්ම විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ නිරීක්ෂණයට සහභාගී වීම, මැතිවරණයේ විශ්වසනීයභාවය දැඩි කරන සාධකයකි.

මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන දිනය පිළිබඳව ව්‍යවස්ථානුකූල ප‍්‍රතිපාදන අනුව අපට යම් අදහසක් ගත හැකි බැවින් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට සූදානම් වීමට ප‍්‍රමාණවත් කාලයක් ලැබෙනසේ ඔවුන්ට ආරාධනා කිරීම පිළිබඳව ඔබතුමාගේත් කොමිෂන් සභාවේත් කඩිනම් අවධානය යොමුකරන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි.

ස්තූතියි.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Leave a comment

Your email address will not be published. Required fields are marked *