වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී වෙසක් වැඩසටහන් මාලාවක් මෙම මැයි 30 වැනිදා සිට ජූනි මස 02 වැනිදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය අබියසදී පැවැත්වේ. මෙම වෙසක් අසිරිය දැක බලාගැනීම සඳහා එක්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සමස්ත මහජනතාවට විවෘත ආරාධනයක් කර සිටියි.
මෙම වැඩසටහන් මාලාව පැවැත්වෙන්නේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයට සමගාමීවය. ඒ අනුව, මැයි 30 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා සෑම දිනකම සවස 6.30ට සුවිශේෂී භක්ති ගීත ප්‍රසංගයක් ආරම්භ වීමට නියමිතය. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ බැති ගී කණ්ඩායම් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය සහ ගල්කිස්ස බෞද්ධ කාන්තා විද්‍යාලය යන පාසල්වල බැති ගී කණ්ඩායම් ද සහභාගි වීමට නියමිතව ඇත.
මීට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය, ඒ අවට ඇති අනෙකුත් ගොඩනැඟිලි සහ මාර්ග පද්ධතිය අලංකාර විදුලි බුබුළුවලින් ආලෝකවත් කෙරෙන අතර, අලංකාර වෙසක් පහන් කූඩු සහ වෙසක් සැරසිලි ද එහිදී ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම, පැමිණෙන ජනතාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බත් දන්සලක් සහ අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීමට ද මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
















