“දක්ෂිණා ප්‍රභා” 2026 රාජ්‍ය වෙසක් උත්සවය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනක් මාතර, මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේදී ඊයේ (28) සාර්ථකව පවත්වා තිබේ. සුවපත් රටක් උදෙසා ක්‍රියාත්මක “Healthy Sri Lanka” නව්‍ය වැඩසටහන යටතේ, වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව දියත් කරනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන මාලාවේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක විය.
මෙම ජංගම සුව සායනයෙන් වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා මාතර නගරය මෙන්ම හිත්තැටිය, ගොඩගම, වල්ගම, පඹුරණ, නූපේ සහ තුඩාව යන අවට ගම්මාන රැසක විශාල මහජනතාවක් එක්ව සිටියහ. අක්ෂි, දන්ත, දියවැඩියා, ශ්වසන පද්ධතියට අදාළ රෝග, රුධිර පීඩන, ECG, දේහ ස්කන්ධ දර්ශක (BMI), කොලෙස්ටරෝල්, රුධිර සීනි, සුවනාරී සායන මෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, මානසික උපදේශන සහ පෝෂණවේදී උපදෙස් ඇතුළු වෛද්‍ය සායන 10කට අධික සංඛ්‍යාවකින් මෙම සුව සායනය සමන්විත විය.
මෙහිදී පැමිණි ජනතාවගේ සර්වාංග රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත නොමිලේ ඖෂධ ලබාදීමට කටයුතු කළ අතර, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වූ රෝගීන් රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ සායන වෙත යොමු කිරීමට ද පියවර ගැනිණි. ජාතික අක්ෂි රෝහල, මාතර දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මේ සඳහා සිය දායකත්වය සපයන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත් කුමාර තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම සායන මාලාවේ මාතර වැඩසටහන, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානය සහ එහි දායක සභාව එක්ව සංවිධානය කර තිබිණි.
















