27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනයට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඉවහල් විය – සෞඛ්‍ය ඇමති කෙහෙලිය

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යසනය පාලනය කර ගැනීම සඳහා ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය පසුබිම් වූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවිඩ් වසංගතයෙන් ඔබ්බට ලෝකයේ රටවල සෞඛ්‍ය පද්ධතීන් ඔරෝත්තු දීමේ හැකියාව ගොඩනැංවීම පිළිබඳ ස්ථාවර ප්‍රකාශය” හඳුන්වා දීමේ අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. එයට ලොව පුරා රටවල් 194 ක් එක් වූ අතර ජිනීවා නුවර සිට ඊයේ (19) මෙම සමුළුව මෙහෙයවනු ලැබිණි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් පාලනය සඳහා රජය ‌ගෙනගිය වැඩපිළිවෙල මෙන්ම ප්‍රජා මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා සෞඛ්‍ය සේවාවේ නිලධාරීන් දැක්වූ දායකත්වය වඩාත් ඉවහල් වූ බවයි.

මැදි ආදායම් ලාභී රටක් වුවද සෞඛ්‍ය දර්ශක මගින් ඉහළ කාර්ය සාධනයක් අප රට පෙන්නුම් කළ බවත් එය ලොව දියුණු රටවල් හා සංසන්දනය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසිය.

ජනගහනයෙන් 40% ට එන්නත් ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප එයට වඩා ඉහළ ප්‍රතිශතයකට මේ වන විට පූර්ණ එන්නත්කරණය ලබා දී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එන්නත්කරණයේ සාර්ථකත්වය සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඵලදායී සන්නිවේදනයක් ලබා දෙමින් ප්‍රජා සහභාගිත්වය එයට එක් කළ බවත් මේ සඳහා වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

කොවිඩ්-19 වසංගතය ඉහළ යන මට්ටමකදී ප්‍රතිකාර පහසුකම් ධාරිතාවද ඉහළ නැංවීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හා අනතුරුව ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම කොවිඩ් පාලනයට සාර්ථකත්වයක් ගෙනදුන් බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය තුළ 85000 ට අධික රෝගීන් සංඛ්‍යාවකට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර ලබාදුන් බවත් එමගින් රෝහල්හි ඇතිවන අනවශ්‍ය තදබදය මගහරවා ගැනීමට හැකි වූ බවත් ඒ මහතා පැවසීය.

ගෝලීය කොවිඩ් වසංගතයේ බලපෑම තුළින් අන් කවරදාටත් වඩා අවධාරණය කර ඇත්තේ රජය හා සමස්ත සමාජය සෞඛ්‍ය කෙරෙහි ප්‍රවේශ වීමේ වැදගත්කම යැයිද ඒ සඳහා ඉහළ සාධනීයත්වයක් අපට ඉටු කිරීමට හැකි වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *