බලශක්ති අර්බුදය තවමත් අවසන් වී නොමැති වුවද, එය ජනතාවට බරක් නොවන ලෙස රජය කළමනාකරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (15) පැවති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිළිබඳ කමිටු රැස්වීමේදී ඇය මේ බව සඳහන් කළාය.
එළඹෙන වෙසක් සතිය තුළ ජනතාවට අවශ්‍ය පරිදි විදුලිය ලබා දීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
රාජ්‍ය ආයතන තුළ බලශක්තිය ඉතිරි කිරීම සඳහා සෑම ආයතනයකටම ‘බලශක්ති කළමනාකරුවෙකු’ (Energy Manager) පත් කිරීමටත්, රාජ්‍ය ගොඩනැගිලි හරිත සංකල්පයට (Green Building Concept) අනුව සකස් කිරීමටත් මෙහිදී තීරණය විය.
දැනට ක්‍රියාත්මක වන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර, QR කේතය යටතේ ඉන්ධන ලබා දීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන පවතින අතර, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද මේ වන විට ඉල්ලුම් කර ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.
විදුලි පරිභෝජනය තිරසර ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, විදුලිය ඉතිරි කරන නිවාස තෝරා දරුවන් ඇගයීමටත් යෝජනා විය.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














