මෑත කාලයේ දේශීය දේශපාලන හා සමාජ මාධ්‍ය අවකාශය තුළ දැඩි කතාබහකට ලක්වූ මල්වාන ප්‍රදේශයේ පිහිටි ආන්දෝලනාත්මක ඉඩම වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පවරා ගැනීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මහත්මිය නිල වශයෙන් ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ අද (18) පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) ශිෂ්‍ය නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
අදාළ පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමේ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) සිදු කරන බවත්, ඉන්පසු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩාත් සුදුසු සහ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් එය භාවිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් පැමිණ සිටි විශ්වවිද්‍යාල සිසුන් හමුවේ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන අධ්‍යාපනික හා සුබසාධන ගැටලුවලට සවන්දීමට රජය ඕනෑම මොහොතක සූදානම් බව පැවසූ ඇය, රාජ්‍ය මට්ටමේ තීන්දු තීරණවලට එළඹිය යුත්තේ සියලු අංශ සමඟ පුළුල් ලෙස සාකච්ඡා කොට විධිමත් අධීක්ෂණයකින් පසුව බව ද පෙන්වා දුන්නාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ ද පැවසුවාය:
“දිගු කාලසීමාවකට පසුව තමයි විශ්වවිද්‍යාල සිසුන්ගේ දිගුකාලීන නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා ජාතික අයවැයෙන් සෘජුවම මුදල් වෙන් කරන්න අපේ රජය පියවර ගත්තේ. මීට පෙර සියයට 60ක (60%) මට්ටමක පැවති උසස් අධ්‍යාපන අංශයේ අයවැය ප්‍රගතිය, පසුගිය 2025 වසර වන විට සියයට 80 (80%) දක්වා ඉහළ නංවන්න අපිට හැකි වුණා. මෙය සිසුන්ගේ සැබෑ හඬට ඇහුම්කන්දීමේ සහ රජයක් ලෙස ශිෂ්‍ය සුබසාධන ගැටලුවලට ඵලදායී ලෙස මැදිහත්වීමේ සෘජු ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිපත්තිය මත පිහිටා මල්වාන ඉඩම ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගෙන, ශක්‍යතා අධ්‍යයනය නිමවා සුදුසුම උසස් අධ්‍යාපන ආයතනයක් වෙත පැවරීමට අපි කටයුතු කරනවා.”














