ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සේවක මහත්ම මහත්මීන් වෙත දෛනිකව ලබාදෙන සියලුම ආහාර වර්ග ඉහළ ප්‍රමිතියෙන් යුතු, ගුණාත්මක මෙන්ම උපරිම සෞඛ්‍යාරක්ෂිත මට්ටමක පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාව වරාය අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දැඩිව අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වරාය අධිකාරියේ ප්‍රධාන මුළුතැන්ගෙය (Port Main Kitchen) වෙත අද (18) සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.
දෛනිකව වරාය සේවකයින් වෙනුවෙන් ආහාර පැකට් 7,500කට අධික ප්‍රමාණයක් ඉතා කාර්යබහුල ලෙස පිළියෙළ කරනු ලබන මෙම ප්‍රධාන මුළුතැන්ගෙයි සමස්ත ක්‍රියාවලියම අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක්විය. එහිදී ආහාර පිළියෙළ කිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය, පිරිසිදුකම, ආහාර පිසීමේ සහ ඇසිරීමේ සමස්ත ක්‍රියාවලිය මෙන්ම එහි සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව ද අමාත්‍යවරයා ඉතා සියුම් ලෙස සොයා බැලීමට පියවර ගත්තේය. වරාය සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ආහාරවල ප්‍රමිතිය ඉහළම මට්ටමෙන් පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කැපවිය යුතු බව ද අමාත්‍යවරයා එහි සිටි නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.














