27 April 2024
#දේශීය

කුරුණෑගල මහ රෝහල් සංවර්ධන ව්‍යාපෘතිය කැබිනට් හමුවේ අනුමැතියට යොමු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

කුරුණෑගල මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සංකල්පය ඇතුළත් සංදේශය අනුමැතිය සඳහා ලබන කැබිනට් හමුවට යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අගමැති මාධ්‍ය පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ කුරුණෑගල පළාත් මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ අද (26) දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ දීය.

කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව 2022 අයවැය තුළින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්වන පරිදි රෝහලේ මූලික ඉදිකිරීම් ලබන වසර මුල දී ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමකරණයට ඇති බාධාවන් ඉවත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල යන්න නෛතිකව ප්‍රකාශයට පත් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව රෝහල ඉදිකරනුයේ සුවිශේෂ පහසුකම් ද ඇතුළත්වන පරිදිය.

බස් රථයෙන් පැමිණෙන රෝගීන්ට වෙනම බස් සේවාවක් සහ රෝහල අභ්‍යන්තරයේම බස් නැවතුමක් ඉදිවීම, පළමු වතාවට රෝහලක් ආකර්ශනීය හරිත සංකල්පය යටතේ ඉදිකිරීම, ශික්ෂණ රෝහලක් මෙන්ම ශෛල්‍ය වෛද්‍ය, ළමා රෝග හා මාතෘ සේවාවල උසස් මට්ටමේ සේවා සැපයීම, කුරුණෑගල දිස්ත්‍රික්කය මෙරට වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශය හේතුවෙන් අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් සහිතව ඉදිකිරීම සහ රෝහලේ සිට අධිවේගී මාර්ගයට හා දුම්රිය ස්ථානයට සෘජු මාර්ග පහසුකම් සැලසීම ඒ අතර ප්‍රධාන වේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත සංකල්පයට අනුව රෝහල ඉදිකිරීමට අදාළ මූලික සැලසුම සකස් කර තිබේ.

පැරණි වෛද්‍ය නිල නිවස පිහිටි භූමිය හා අක්කර දෙකක් පමණ වූ ක්‍රීඩා භූමිය ඒ්කාබද්ධ කර අක්කර 04 කින් යුතු භූමිය තුළ අලුතින්ම ඉදිකිරීමට සැළසුම් කර ඇති රෝහලේ මහල් 10 කින් සමන්විත ගොඩනැගිලි දෙකක් පළමු අදියරය යටතේ ඉදිකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එච් මුණසිංහ, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූඩ් නිලුක්ෂාන් , නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. කේ රණවීර, කුරුණෑගල පළාත් මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක මහත්වරු එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *