27 April 2024
#සංවර්ධන

දිවයින පුරා නිෂ්පාදන ගම්මාන ඵල දරයි – රාජ්‍ය ඇමැති ශෙහාන්

මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති නිෂ්පාදන ගම්මාන ඵල දරමින් තිබෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ නාවිදන්වේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අන්නමලේ ප්‍රදේශයේ ආරම්භ කළ සෞභාග්‍යා තල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයේ වර්තමාන තත්ත්වය පිළිබඳ පසුගියදා නිරීක්ෂණය කිරීමට එක් වීමෙනි.

එවක බිම් මට්ටමින් ආරම්භ කළ සෞභාග්‍යා තල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයේ මේ වන විට ප්‍රතිලාභින් 350 ක් නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ වී ඇත.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “අපි මේ වන විට උතුර දකුණ යා කරමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 560 ක් ආරම්භ කර තිබෙනවා. බිම් මට්ටමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අද ශක්තිමත් ව්‍යාපෘතියක් වෙලා. එහි ප්‍රථිලගයක් තමයි 500 ක් ආරම්භ කරන්න තිබුණ නිෂ්පාදන ගම්මාන 560 ක් දක්වා වර්ධනය කරන්න වුණ එක. අපි දිවයින පුරා සිටින සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභින් මෙන්ම විභවතාවයක් ඇති පිරිස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරමින් යන ගමන සමෘද්ධි අරුණලු වැඩ සටහන් මාලාවෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහනත් සමෘද්ධි ලාභියාට මහත් රුකුලක් වෙනවා. අපි මේ සියල්ල සමග අවසන් අරමුණ කරා යන්නේ දිවයින පුරා සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සමෘද්ධි අරුණලු මගින් සවිබල ගන්වද්දි සෞභාග්‍ය වැඩසටහන යටතේ 50,000 ක් සමෘද්ධි ලාභීන් සවි බල ගැන්වීමයි. යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී වීරසිංහ, තිලක් රාජපක්ෂ, අම්පාර සහකාර දිස්ත්‍රීක් ලේකම් බී ජගදීශන් , නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් එස්. රංගනාදන්, නාවිදන්වේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. ආනන්දන් දිස්ත්‍රීක් ක්‍රමසම්පාදන සැලසුම් අධ්‍යක්ෂ එස්. පාක්‍යරාජා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතීලාභී මහත්ම මහත්මීන් සහභාගී වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *