27 April 2024
#දේශීය

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාවය – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් වෛර‍සයෙන් ආරක්ෂා කිරිමට රජය කටයුතු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා කටයුතු පිලිබද දෙපාර්තමේන්තුව සංවිධානයෙන් 2021 ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් “ඩිජිටල් තාක්ෂණයේ සමානාත්මතාවය තුළින් සහභාගිත්ව සංවර්ධනය ඉහල නංවමු” යන තේමාව යටතේ සිදුකරන මාර්ගගත (online) වැඩසටහනක් ඉකුත්දා පැවති අවස්ථාවේදිය.

ගීත, නර්තන අංග, සිතුවම් වැනි විචිත්‍රවත් අංග ඇතුලත් කර සකස් කර තිබු මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වර්තමාන රජය වැඩිහිටි ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. වැඩිහිටි නිවාසයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒවායේ පහසුකම් තහවුරු කරමින් වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වඩා යහපත් අයුරින් පවත්වාගැනීම සදහා අවශ්‍ය ක්‍රමවේදයන් ස්ථාපිත කරමින් වෙනත් රටවලට වඩා ‍වැඩිහිටියන් රැකබලාගන්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඒ ඔස්සේ මුළු ලෝකයටම පූර්වාදර්ශයක් සපයන බවත් , තමාට ජීවයක් ලබාදී, කුඩා “අ” අක්ෂරයේ සිට මුළු ජීවිතය සදහාම පදනම සකස් කර තම දිවිය කැප කළ දෙමාපියන් වැඩිහිටි නිවාසයන් වෙත යොමු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වූවද, එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහලම මට්ටමේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රඳවමින් ඔවුන් වෛරසයෙන් ආරක්ෂාකරගැනීම සදහා වර්තමාන රජය ක්‍රියාකළ බව ද ‍එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, පළාත් පරිවාස කොමසාරිස් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයන්හී වැඩිහිටියන් පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *