බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා ක්‍රියාවලිය මෙන්ම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මත්ද්‍රව්‍ය මර්දනයේදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු පාලනය කිරීමට නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර, දුරකථන සමාගම් හරහා ක්‍රියාත්මක වන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අවභාවිත කිරීම වැළැක්වීමට නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී. මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිසිය තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සහ පවතින නීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.














