දිවයිනේ බන්ධනාගාර කිහිපයක හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් බරපතළ අනාවරණයක් සිදු කර තිබේ.
මැගසින් බන්ධනාගාරයේ “ඊ සෙල්” (E Cell) වාට්ටුව ආශ්‍රිතව මෙම අර්බුදකාරී තත්ත්වය මුලින්ම හටගෙන ඇති බවත්, බන්ධනාගාර පද්ධතිය තුළ විශාල වශයෙන් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මෙම කලබලකාරී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දී ඇත. මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළුවීම සම්බන්ධයෙන් ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් බලපා ඇද්ද යන්න පිළිබඳව සැකයක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
බන්ධනාගාරවල පවතින අධික තදබදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා කිසිදු වරදක් නොකළ, සුළු වැරදිවලට හෝ අහම්බෙන් සිරගත වූ අහිංසක රැඳවියන්ගේ ජීවිතද මේ වන විට දැඩි අනතුරකට ලක්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙයි. බන්ධනාගාර ගැටලු සහ නොසන්සුන්තා කිසිවිටෙකත් රැඳවියන් ඝාතනය කිරීමෙන් හෝ බලය යෙදවීමෙන් විසඳිය නොහැකි බවත්, එලෙස නිරායුද සිරකරුවන් අනතුරට ලක්වීමෙන් රට ජාත්‍යන්තරය ඉදිරියේද අපකීර්තියට පත්වන බවත් නන්දිමාල් සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත. මේ වන විට කුරුවිට සහ පල්ලන්සේන ඇතුළු බන්ධනාගාර කිහිපයකම මෙම නොසන්සුන්තා වාර්තා වී ඇති අතර, ආරක්ෂක අංශ සහ විශේෂ කාර්ය බලකාය යොදවා තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.














