බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස් ධුරය සඳහා අයෙකු පත් නොකිරීමට හේතු වී ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධව මේ වන විටත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පැවතීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බැවින් එම පරීක්ෂණ අවසන් වන තෙක් ස්ථීර පත්වීමක් ලබා දිය නොහැකි බවයි. කෙසේ වෙතත්, වැඩ ආවරණය කිරීම සඳහා මේ වන විට නිලධාරියෙකු පත් කර ඇති බවත්, පරීක්ෂණවලින් ඔහු වරදකරු වුවහොත් නව කොමසාරිස්වරයෙකු ස්ථීරව පත් කිරීමටත්, නිවැරදිකරු වුවහොත් නැවත සේවයේ පිහිටුවීමටත් හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














