මහජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, ‘Clean Sri Lanka’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’ ස්ථාපිත කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම නව මෙහෙයුම් මැදිරියේ CCTV නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ, මගියෙකුගේ බෑගයක් සොරකම් කළ සැකකරුවෙක් ඊයේ (23) දින ක්ෂණිකව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දීමට ගුවන් හමුදා සාමාජිකයන් සමත්ව තිබේ. මගීන්ගේ බඩුබාහිරාදිය සොරකම් කිරීම් හඳුනාගැනීමට අමතරව, මගියෙකු හදිසි අසනීප තත්ත්වයකට පත්වීම, අනතුරකට ලක්වීම හෝ වෙනත් හදිසි අවස්ථාවක් ඇතිවීම වැනි අවස්ථාවන්හිදීද කඩිනම් ප්‍රතිචාර ලබාදීම මෙමගින් සිදු කෙරේ. මහජනතාවට වඩාත් සුරක්ෂිත පොදු ප්‍රවාහන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම නව නිරීක්ෂණ ක්‍රමවේදය, පොදු ස්ථානවල ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටගත් වැදගත් පියවරක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
















