27 April 2024
#දේශීය

පෞද්ගලිකරණය හුදු රාජ්‍ය ව්‍යවසාය වෙනතකට යොමුකරන ක්‍රියාවලියක් නොවිය යුතුයි – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෞද්ගලිකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා විරුද්ධ වන පිරිසක් නොවන අතර අප මෙය සිදුකළ යුත්තේ ඉතා කල්පනාකාරීව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “මම ගුරු භූමිකාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් තාම ගුරුවරයෙක් විදිහට වැඩකරන නිසා අද ජාත්‍යන්තර ගුරුවරයන් සමරන දිනය හේතුවෙන් අපිට ගුරුවරු වෙච්චි , අපිට ගුරුවරු නොවිච්චි සියලූම ගුරු මව්වරුන්ටත්, පියවරුන්ටත් ඉතාම වාසනාවන්ත ගුරු උපහාර දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අලුතින් එකතුවෙච්ච දෙයක් තමයි online education කියන එක. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් සම්බන්ධයක් තිබෙනවා අපේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ගරු ධම්මික පෙරේරා මැතිතුමත් එම මැතිණියත් එකතුවෙලා කරගෙන යන DP Education එක චීනය , ඉන්දියාව, කොරියාව, සිංගප්පූරුව වැනි තාක්ෂණයෙන් ඉහළ රටවල් පරයා ආසියාවේ හොඳම online Learning platform එක බවට පත්වෙලා තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අතිශයෙන් සතුටට පත්වෙනවා මේ DP Education ව්‍යාපෘතිය රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්තවෙලා මේ අපි ඉගෙන ගන්න ක්‍රමයේ විශාල පරිවර්තනයක් කරලා තිබෙනවා. තව මාසයකට ආසන්න කාලයකදි අය වැය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. මිනිස්සු විශාල බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා රටක් දියුණු වෙන්න ඕන නම් වැඩිවෙන්නට ඕන බදු මුදල් උත්පාදනය කරන රැකියාවන්. එහෙම නැතිව තවදුරටත් බදු මුදල්වලින් යැපෙන රැකියාවන් නොවේ රට තුළ නිර්මාණය වෙන්න ඕන. මෙතෙක් කාලයක් උපාධිදාරීන්ට, සාමාන්‍ය පෙළ සමත් , උසස් පෙළ සමත් පිරිසටත් කිසිදු සුදුසුකමක් නැති පිරිසටත් ආණ්ඩුවට සිදු වුණා රැකියා සපයන්න. පසු කලෙක ඔවුන් වෘත්තිය සමිති හදාගෙන විවිධ ඉල්ලීම් කරනවා. මේ හුඟක් රැකියා සැපයුවේ සාමාන්‍ය මහජනයා ගෙවන බදු මුදල්වලින් පඩිගෙවලා. රාජ්‍ය ව්‍යවසායත් මේ රටේ බදු ගෙවන මහජනතාවගේ ආයෝජන. තවදුරටත් මේ මහජනයාගේ බදු මුදල්වලින් නඩත්තු වෙන්න තියෙන ඉඩකඩ සීමාවෙලා තිබෙනවා. ඒ නිසා තමයි කරළියට ඇවිත් තිබෙන්නේ රාජ්‍ය ව්‍යාවසායේ ප්‍රතිසංස්කරණය පිළිබඳව සහ පෞද්ගලිකරණය පිළිබඳව කතාබහක්. ඉදිරි අයවැයෙන් විසඳාගන්න තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ දුප්පත්කමත් වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම ජනගහනයෙන් 1/3 විතර පිඩාවට පත්වෙලා තිබෙනවා මේ දුප්පත්කම නිසා. ආදායම් ධන ව්‍යාප්ති විශමතාවයේත් ලොකු ගැටලු තිබෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න අමතක කරන දේශපාලනය දැන් නවත්තන්න ඕන. ඉතිහාසය පුරාම අපි ප්‍රශ්න අමතක කරන දේශපාලනයක තමයි නිරතවෙලා තිබෙන්නේ. හැබැයි මේ රටේ මහජනතාව තවදුරටත් මේ වගේ දේවල් ඉවසන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදිහට හොඳට අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපි අයෝජකයෝ කැඳවා ගැනීම උපායමාර්ගය කුමක්ද කියලා අයවැය අවස්ථාවේවත් හෙළි කරන්න ඕන. අපි වරාය නගරය විවෘත කරලා තිබෙනවා. නමුත් අපිට පේනවා එහෙම ලොකු බලපොරොත්තුවක් අපිට තියාගන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා රට තුළ රැකියා උත්පාදනය කරන්න අපි සාම්ප්‍රදායිකව අනුගමන කරපු බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් පඩිගෙවලා රැකියා බිහිකරන සංස්කෘතියකට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා එන අය වැයේදී පෞද්ගලික අංශය විදේශ සෘජු ආයෝජන රට තුළ ව්‍යාපාර කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වන ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් කරන්න අවශ්‍ය රාජ්‍ය නොවන අංශ රැකියා උත්පාදනය කරන්න හැකිවන ආකාරයේ ව්‍යාපාර පරිසරයක් රට තුළ නිර්මාණය කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා ආර්ථිකය හැකිලවෙන්නේ නැති ආර්ථිකය තුළ ආයෝජකයෝ දිරිමත්වන පාර්භෝගිකයෝ වෙළඳපොලට පැමිණෙන ආර්ථික පරිසරයක් නිර්මාණය කරන්න. මේ පෞද්ගලිකරණය හුදු රාජ්‍ය ව්‍යවසාය වෙන අතකට යොමුකරන ක්‍රියාවලියක් නොවිය යුතුයි. ඊටවඩා ටිකක් පුළුල් , ඊටවඩා ටිකක් ප්‍රතිපලදායි එකක් වෙන්න ඕන. අපි මේ පෞද්ගලිකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයට විරුද්ධ පිරිස නොවේ. නමුත් අපි මෙය ටිකක් ප්‍රවේසමෙන් කළ යුතු වෙනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ පාක්ෂිකයෝ දැනුවත් කරන එක ගම් නියම් ගම් මට්ටමින් සිදුකරගෙන යනවා. අපේ පක්ෂයේ ජාලය වසම් මට්ටමින් ශක්තිමත් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන පවුර අපි ක්‍රමානුකූලව ශක්තිමත් කරමින් යනවා. ඒ නිසා අපි රැළි හදනවා මිසක් රැළිවලට අහුවන දේශපාලන ව්‍යාපාරයක් නොවේ.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *