27 April 2024
#දේශීය

රැට බැන්නාහම උදේට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

තෙල් වැඩිවුනා කියලා රැ රුපවාහිනිය බලලා ඇට්ටි හැලෙනකම් බැන්නාට උදේට ඒ වැඩිවුන ගානට තෙල් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානාක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවියාගේ නිෂ්පාදන වියදම අවම කිරීමේ අරමුණින් රාජාංගනය 449 තුලානේ යාය 06 තුඹුල්ලේගම පුරසඳ ගොවි සංවිධානයේ ජල පොම්පාගාරයට සූර්ය බලය මගින් ක්‍රියාත්මක වන ජල පොම්පයක් හා සූර්ය පැනල පද්ධති ස්ථාපිත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” සියලු පක්ෂ එකට එකතු වෙලා රට වෙනුවෙන්, හැමෝම එකතු වෙච්ච අලුත් යුගයක්, අලුත් වැඩසටහනක් හැදුනොත් නේද අපේ රටට යහපතක් වෙන්නේ.එහෙම නැත්නම් අරයට බැන්න, අරක විවේචනය කළා, මේක විවේචනය කළා කියලා ප්‍රශ්නයට උත්තරයක් ලැබෙනවාද? රෑට රූපවාහිනිය බලන කොට ආණ්ඩුවට බනින කොට ෆුල් සැප ඇති, හැබැයි උදේ නැගිට්ටම මොකද වෙලා තියෙන්නේ. ආයේ අර දුකම විදින්න ඕන නේද? අරූ නම් ෂෝක් කථාවක් කලා දුන්නා ඇට්ටි හැලෙන්න කියලා කිව්වට යකෝ උදේ නැගිට්ටම තෙල් ටික ඒ ගානමයි. ලයිට් කැපෙන එක කැපෙනවාමයි.ඒ නිසා බොරුවට අපි සන්තෝෂ වෙනවාට වඩා අපි හැමෝම එකට එකතු වෙලා මේ රට වෙනස් කරන්න, තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න කියලා තමයි ඔබතුමන්ලා බල කරන්න ඕනකම තියෙන්නේ.ඔබතුමන්ලා පාරට බෝඩ් එකක් අරන් ඇවිල්ලා බොරුවට ආණ්ඩුවට බැන්නට වැඩක් නෑ.බලපෑම් කරන්න සියලු පක්ෂ වලට බෙදුනා ඇති, කුළල් කා ගත්තා ඇති, අරයට මෙයාට වැරැද්ද කිව්වා ඇති, අපි තමයි හොඳට කලේ අපේ කාලේ කිව්වාට වැඩක් නෑ, ඒ නිසා සියලු දෙනා එකට එකතු වෙලා, අපිට වැඩක් නෑ ඒක ජාතික ආණ්ඩුවක්ද? අපිට වැඩක් නෑ ඒක එකඟතාවයක්ද? අපිට වැඩක් නෑ ඒක සම්මුතියක්ද? අපිට ඕන රට හොඳ තැනකට ගේන්න.රට වැටිලා තියෙන තැනින් තවත් වැටෙන්නේ නැතිව තියන තැනින් හරි ආරක්ෂා කර ගෙන තව අවුරුදු දෙක-තුනකින් කින් හරි නැගිටින්න නේද අපිට ඕනකම තියෙන්නේ.ඒ වෙනුවෙන් පණිවිඩය ඔබතුමන්ලා ගමේ කථා බහ කරන්න.ලොක්කොන්ට තේරෙන්නේ නැත්නම් ගමේ ඔබතුමන්ලා පොඩි තැනින් පටන් ගන්න.අර කට්ටියක් කියනවා ඉහළින් මේක හදන්න ඕන කියලා.ඉහලින් හදන්න ඕන කියන කට්ටියත් හිටියා අපිත් එක්ක.හැබැයි හැදුවාද? ඒ නිසා දැන් අරයාගේ මෙයාගේ වැරැද්ද නෙමෙයි, අපි එකා වගේ එකට එකතු වෙන්න ඕන.යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා ඇතුළු නිළධාරීන්, රාජාංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුමේද වීරසිංහ, නිමල් ජයවීර යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු ගොවි ගෙවිලියන් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *