වසර 2300කට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන, ලොව පැරණිතම මානුෂීය ආරක්ෂාව ලත් වෘක්ෂය ලෙස සැලකෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුවෙහි මෑතකදී සිදුකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් තාක්ෂණික වාර්තාවක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම මධ්‍යම මළුවෙහි වැලි තලාව වෙනුවට සිදුරු සහිත ටෙරාකොටා (Hollow Terracotta) ගඩොල් ඇල්ලීම හේතුවෙන් වෘක්ෂයේ පැවැත්මට සහ බැතිමතුන්ගේ පහසුවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව මෙම වාර්තාව මගින් කරුණු අනාවරණය කර ඇත. ඓතිහාසිකව වැලි මතුපිටක් පවත්වා ගැනීම මගින් පසෙහි වාතාශ්‍රය සහ උෂ්ණත්වය ස්වාභාවිකව පාලනය වූ මළුවට, මෙම නවීන පදික සැකසුම් මගින් ඇති කළ හැකි පාරිසරික පීඩනය පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම වාර්තාවට අනුව, සිදුරු සහිත ටෙරාකොටා ගඩොල් භාවිතය නිසා සෘජු හිරු රශ්මිය හමුවේ මතුපිට උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන අතර, එහි අභ්‍යන්තරයේ පවතින වායු කුහර හේතුවෙන් තාපය පිටවීම වැළැක්වී මතුපිට දිගු වේලාවක් රත්ව පවතී. මෙය පාවහන් රහිතව මළුවට පිවිසෙන බැතිමතුන්ට දැඩි අපහසුතාවක් ඇති කරනවා මෙන්ම, බෝධීන් වහන්සේ වටා ක්ෂුද්‍ර තාප දූපත් (Micro-scale Heat Island) තත්ත්වයක් නිර්මාණය කිරීමට ද හේතු විය හැක. මෙලෙස ඉහළ යන උෂ්ණත්වය සහ පරාවර්තනය වන සූර්ය විකිරණය හේතුවෙන් වෘක්ෂයේ පත්‍රවලින් ජලය පිටවීම (Transpiration) ඉහළ ගොස් ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, පසට ජලය කාන්දු වීම සහ වායු හුවමාරුව සීමා වීම නිසා මූල පද්ධතියේ සෞඛ්‍යයට හානි සිදුවිය හැකි බවත් වාර්තාව පෙන්වා දෙයි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෞඛ්‍යය සහ පැවැත්ම උදෙසා මෙම පාරිසරික වෙනස්කම් පිළිබඳව කඩිනම් විද්‍යාත්මක ඇගයීමක් සිදුකිරීමේ අවශ්‍යතාව මහාචාර්යවරයා අවධාරණය කරයි. ඒ අනුව, දැනට යොදා ඇති සිදුරු සහිත ටෙරාකොටා ගඩොල් වෙනුවට උෂ්ණත්වය පාලනය කළ හැකි ස්ථාවර වැලි තලාවක් හෝ ලා පැහැති ස්වාභාවික ගල් වැනි හිතකර අමුද්‍රව්‍ය භාවිත කිරීම වඩාත් උචිත බව නිර්දේශ කර ඇත. පෞරාණික වෘක්ෂයක දිගුකාලීන පැවැත්ම සඳහා මෙවැනි තාක්ෂණික සහ පාරිසරික සාධක කෙරෙහි බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත්, උද්භිද විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක මැදිහත්වීමෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මහාචාර්ය හල්වතුර මහතා සිය වාර්තාව මගින් යෝජනා කර සිටියි.














