ලිබියානු පාපන්දු ලීගයේ පැවති තීරණාත්මක තරඟයක් අතරතුර විනිසුරුවරයෙකු ලබාදුන් මතභේදාත්මක තීන්දුවක් හේතුවෙන් හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා ට්‍රිපොලි (Tripoli) අගනුවර දක්වා ව්‍යාප්ත වී තිබේ. විරෝධතාකරුවන් විසින් එරට ජාතික එකමුතු රජයේ (Government of National Unity) මූලස්ථානයට ගිනි තබා ඇති අතර ඉන් දේපළවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ට්‍රිපොලිහි අල්-ඉත්තිහාඩ් (Al-Ittihad SCSC) සහ මිස්රාටාහි අස්වේලි (Asswehly SC) කණ්ඩායම් අතර තර්හුනා (Tarhunah) නගරයේ පැවති තරඟයක් අතරතුර මෙම නොසන්සුන්තාව ආරම්භ විය. තරඟය අවසන් වීමට සුළු වේලාවකට පෙර තමන්ට හිමිවිය යුතු දඬුවම් පහරක් (Penalty kick) ලබා නොදුන් බවට අල්-ඉත්තිහාඩ් ක්‍රීඩකයින් කළ විරෝධයක් හේතුවෙන් තරඟය අත්හිටුවීමට සිදුවිය.ක්‍රීඩාංගණයෙන් පිටත ආරක්ෂක අංශ සහ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුම් පාලනය කිරීමට රජය විසින් ‘444 වන සටන් බලකාය’ (444th Combat Brigade) යොදවා තිබේ. එහිදී සිදු වූ වෙඩි හුවමාරුවලින් තම බලකායේ සෙබළෙකු මියගිය බව එම බලකාය ප්‍රකාශ කළද බලධාරීන් එය මෙතෙක් තහවුරු කර නොමැත. ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට එරෙහිව සජීවී උණ්ඩ භාවිත කළ බවද වාර්තා වේ.ගැටුම් හේතුවෙන් ක්‍රීඩකයින් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, ක්‍රීඩා නාලිකාවකට අයත් රථයක් ඇතුළු වාහන කිහිපයක් ගිනිබත් කර ඇත. ට්‍රිපොලි අගනුවර පිහිටි අමාත්‍ය මණ්ඩල මූලස්ථානයට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති අතර එම ගින්න මේ වන විට පාලනය කර තිබේ.සිදුවූ හානි පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ලිබියානු ජනාධිපති මණ්ඩලය නියෝග කර ඇති අතර, අසාධාරණයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු මිස ප්‍රචණ්ඩත්වය විසඳුම නොවන බව ඔවුන් අවධාරණය කරයි. මෙය මෑත මාස කිහිපය තුළ ට්‍රිපොලි අගනුවර වාර්තා වූ දරුණුතම සිවිල් නොසන්සුන්තාව ලෙස සැලකේ.














