විවිධ නීතිමය ගැටලු සහ සීමා නිර්ණ දෝෂ පවතින හෙයින්, රටට ගැලපෙන පළාත් සභා ඡන්ද ක්‍රමයක් සකස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ. පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමට නීතිමය ගැටලු කිහිපයක් හරස් වී පවතින හෙයින් පළමුවෙන්ම ඒවා නිරවුල් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
සීමා නිර්ණයේ ගැටලු මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා අතර, එම ගැටලු නිරාකරණය කර ගැනීමට ඉදිරියේදී යම් යම් සංශෝධන ගෙන ඒමට සිදුවනු ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යම් එකඟතාවලට පැමිණ ඇති බවත්, කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව පළාත් සභා ඡන්දය බොහෝ දුරට ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේ ඡන්දය කල්දැමීමට රජයේ කිසිදු වුවමනාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, වසර දහයකට වැඩි කාලයකින් පළාත් සභා නවයේ ඡන්දය පවත්වා නොමැති බැවින්, සියලුම පළාත් සභාවල පාලනය මේ වන විටත් ආණ්ඩුකාරවරුන් යටතේ පවතී.














