නිකිණි පොහෝ දින අලුයම බදුරලිය, ඩෙල්කිටවත්ත මාර්‌ගයේ ගසක් යට සඟවා තිබූ බව කියන අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔවුන් පැමිණි යතුරුපැදියට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා බදුරලිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට කළ පැමිණිල්ලට අනුව, ඩුබායි සිට මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන බව කියන ‘මතුගම සනෝජ්’ හෙවත් ‘සනා’ නමැත්තෙකු WhatsApp ඔස්සේ ලබාදුන් ස්ථාන තොරතුරු අනුව අදාළ පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් ඩෙල්කිටවත්ත මාර්‌ගයට ගොස් තිබේ. එහිදී ගසකට මුවාවී සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ඔවුන්ට පහරදී ඇති බවත්, දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් නැවත පැමිණෙන විට රුපියල් 325,000ක් පමණ වටිනා යතුරුපැදිය ගිනි ගනිමින් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය, ලත්පඳුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුද මීට පෙර මෙවැනි ස්ථාන තොරතුරු ක්‍රමයක් ඔස්සේ අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සහ එයට සම්බන්ධ බව කියන මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ බදුරලිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදුකරයි.














