ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ කටයුතු මන්දගාමී වීම හේතුවෙන්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට හිමිව ඇති ‘GSP+’ බදු සහනය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා පෙන්වා දෙන කරුණු පහත පරිදි වේ.
ලබන වසරේ මාර්තු මාසයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම අවසන් වීමට නියමිත අතර, මේ වන විටත් රට විදේශ විනිමය ආදායම් ගලා ඒමේ ගැටලුවලට මුහුණ දී සිටියි. එවැනි පසුබිමක යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීමේදී GSP+ සහනය අතිශය තීරණාත්මක වේ.
ලබන වසරේදී මෙම බදු සහනය සඳහා ශ්‍රී ලංකාවට අලුතින් අයදුම් කිරීමට සිදුවන අතර, ඒ සඳහා ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම පූර්ව කොන්දේසියකි. එහිදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ඇතුළු සම්මුතීන් 21ක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින විධිවිධාන මෙම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන හෙයින්, එය ප්‍රතිසංස්කරණය කරන ලෙස යුරෝපා සංගමයේ තානාපතිවරුන් දිගින් දිගටම අවධාරණය කර ඇත. රජය දිගින් දිගටම එම පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්නේ නම්, GSP+ සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය සූදානම් නොමැති බවද ඔහු අනතුරු අඟවයි.
තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේදී මාස හයක් ඇතුළත මෙම පනත වෙනුවට නව නීතියක් හඳුන්වා දෙන බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව මහාචාර්යවරයා සිහිපත් කළේය. අධිකරණ අමාත්‍යවරයා ද මීට පෙර මාස දෙකක් ඇතුළත නව නීතියක් ගෙන එන බවට ප්‍රකාශ කළ ද, යෝජිත නව නීතියේ අන්තර්ගතය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත භාවයකි.
සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව නීතිය සකස් නොකළහොත් රටට හිමි GSP+ සහනය අහිමි වීම වැළැක්විය නොහැකි බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අවධාරණය කරයි.
















