වර්තමානයේ පවතින වී මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත වී මිල තීරණය වන බවත්, රජය ගොවියාගේ හදගැස්ම හොඳින් හඳුනන බවත්ය.
කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර වී නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක පැවැති බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
පසුගිය රජය සමයේ වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 99.75ක්ව පැවැති අතර, නියමිත මිලක් නොමැතිව ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටියදී වත්මන් ආණ්ඩුව රට භාර ගත්තේය.
ආණ්ඩුව භාර ගැනීමෙන් පසු වී නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට පියවර ගත් අතර, නාඩු වී රුපියල් 120ක්, සම්බා රුපියල් 130ක් සහ කීරි සම්බා රුපියල් 140ක් ලෙස වෙළෙඳපොළ තුළ මිල ස්ථාවර විය.
මහ කන්නයේ අස්වනු නෙළන කාලසීමාව තුළ රජයේ වී ගබඩා විවෘත කර වී මිලදී ගැනීමට කටයුතු කළ අතර, යල කන්නයේදීද ගබඩා විවෘත කළද ගොවීන් වී රැගෙන ඒම නතර වීම නිසා ගබඩා වසා දැමීමට සිදු විය.
මෙම තත්ත්වය වෙනස් විය හැකි අතර, අස්වනු නෙළන කාලසීමාව තුළ නැවත වී ගබඩා විවෘත කර වී මිලදී ගැනීමට රජය මැදිහත් වනු ඇත.
වී වගා කරන කුඹුරුවල අතිරේක බෝග වගා කිරීම සඳහාද රජය විසින් ගොවීන්ට දිරිගැන්වීම් ලබා දෙනු ලබන අතර, මහජනතාවගේ බදු මුදල් භාවිත කරමින් රජය ගොවි ජනතාව වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරයි.
















