27 April 2024
#දේශීය

මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩවම ලබාදෙනවා – රාජ්‍ය අමාත්‍ය රංජිත්

දැනට රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර , වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට තෝරාගත් පිරිස සඳහා ලබාදෙන ආධාර මුදල් ලබාදීමේ නිශ්චිත වකවානුවක් සඳහන් වුවද, විශේෂ හැකියා සහිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබාදෙන පුද්ගලයින් සහ වැඩිහිටි ආධාර ලබාදෙන පුද්ගලයන් යන කාණ්ඩ තුනට අයත් පන්ලක්ෂ විසිදහස ඉක්මවු පිරිස වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදිමට කටයුතු කරන බවයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිලිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත් එම මහජන ආධාර ලබාදෙන දින වකවානුවක් සඳහන් නොකළ අය වෙනුවෙන් අඛණ්ඩව එම ආධාර මුදල් ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉහත කී කාණ්ඩ තුනට අයත් යම් පුදගලයෙකු අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහාද සුදුසුකම් ලබා ඇත්නම් , එම පුද්ගලයාට එම ආධාර ද්විත්වයම ලබාදීමට කටයුතු කරන බව හෙතෙම එහිදී සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *