27 April 2024
#දේශීය

පැතිරෙන කටකතා බොරුයි .. මහින්දව අගමැති කරන්නේ නෑ – මහලේකම් සාගර

අපි කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිධූරයට පත් නොකරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරන්නට උත්සහයක් දරනවා, ඒ අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කතාවක් සමාජයේ පතුරවමින් හරිනවා. මම හිතන්නේ මේ වගේ කතාවක් සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වන කොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින්. මේ වගේ කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත හා ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය තමයි අපිට පේන්නේ. නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු 04 ට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක් නිමා කරලා වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ භාෂාවෙන් කියනවා නම් එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් භය නෑ. ඒ වගේම ජනතාව වෙනුවෙන් බලය අතහරින්නත් හැකියාව තියෙන නායකයෙක්. ඒ වගේ නායකයෙක් අපි කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදාව ගෙනල්ලා දාගෙන මේ රටේ තනතුරකට පත් කරන්නේ නෑ. එතුමාව තනතුරට පත්කරනවානම් අපි අනිවාර්යෙන් අපි එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ මිසක් මේ රටේ ජනතාවට හොර රහසේ හමුදාවන් දාගෙන එවැනි තනතුරකට ගේන්න කටයුතු කරන්නේ නෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරනවා කියන කාරණය සම්පූර්ණ අසත්‍ය කාරණයක් බව පළමුවෙන්ම කියන්න ඕන. මේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න මාතෘකා නැති දේශපාලඥයන් විසින් සමාජගත කරන බොරුවක් මිසක්, සත්‍යතාවක් තියෙන කාරණයක් නොවේ. ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පලකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට. එතුමාට ජනාධිපතිධූරය ලබාදීමේදී අපි එතුමාට මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න එකඟ වුණාට අපි කිසියම් කෙනෙකු ඉවත් කරන්න හෝ පත් කරන්න ඕන කියලා විවිධ කොන්දේසි දැම්මේ නෑ. ඒ ආණ්ඩුකාරවරු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ අයිතිය එතුමා සතුයි. බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කරන්නත් අපි උත්සුක වෙන්නේ නෑ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *