තාප ජනනයෙන් විදුලිය උත්පාදනය අවම කරගැනීමට කටයුතු කරන්නේ නම් විදුලි ගාස්තු උච්ඡාවචනය නතර කර ගැනීමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා පවසයි. බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය කාලවකවානුවේ විදුලි ගාස්තු උච්චාවචනය වූයේ තාප විදුලිය උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ අගයක් වූ නිසා බව පෙන්වා දුන් ඒ මහතා, සූර්ය බලයෙන් සහ පුනර්ජනනීය බලයෙන් විදුලිය උත්පාදනය කරගැනීමේ හැකියාවක් පවතින අවස්ථාවක තවමත් තාප ජනනයෙන් විදුලිය ලබාගැනීම නුසුදුසු තත්ත්වයක් බව ප්‍රකාශ කළේය. එය විදේශ විනිමය අනවශ්‍ය පරිදි රටෙන් පිටට යාමක් වන අතර, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ ඇතිවන තීරුබදු වෙනස්වීම්ද විදුලි ගාස්තු ඉහළ යාමට සෘජුවම බලපාන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














