ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය වැඩි වුවද මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 95කට එම බර පටවන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කර ඇත. ඉන්ධන මිල ඉහළ යාම නිසා 2026 වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තුවලදී රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟයක් ඇති වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණද එම හිඟය පියවා ගැනීම සඳහා රජය මැදිහත් වී මැයි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් බිලියන 15ක සහනාධාරයක් භාණ්ඩාගාරය මගින් ලබා දීමට තීරණය කර තිබේ. මේ අනුව ගෘහස්ථ හා ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයන්ට මෙන්ම පොදු කාර්ය, රාජ්‍ය ආයතන සහ සංචාරක හෝටල් කාණ්ඩ යටතේ මාසිකව ඒකක 180ට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට ද කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩයට අයත් පාරිභෝගිකයන්ට ද විදුලි ගාස්තු ඉහළ නොයනු ඇත.
අතිරේක ගල්අඟුරු පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීම වැළැක්වීමට ද කොමිසම පියවර ගෙන ඇති අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ සඳහා ලිඛිත අදහස් 2026 මැයි 6 වැනි දින දක්වා ඉදිරිපත් කළ හැකි අතර එදිනම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පූර්ව ලියාපදිංචිය සහිතව වාචික අදහස් දැක්වීමේ සැසියක් ද පැවැත්වීමට නියමිතය. ලැබෙන සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් 2026 මැයි 9 වැනි දින විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.














