පුස්සැල්ලාව වතු සමාගමට අයත් කොස්ගම සාලාව වත්තේ වතු අධිකාරීවරයාගේ බංගලාවට ඊයේ අලුයම කඩා වැදුණු සය පුද්ගල සන්නද්ධ කල්ලියක් එහි සිටි ආරක්ෂක නිලධාරීන් ගැටගසා තබා රුපියල් මිලියන දහයක මුදලක් සහ දේපළ කොල්ලකා පලා ගොස් තිබේ. තුවක්කු පෙන්වා වතු අධිකාරීවරයා බිය ගැන්වූ කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ, ලැප්ටොප් පරිගණක හතරක් සහ ජංගම දුරකථන දෙකක් ද රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
කොල්ලකෑමෙන් අනතුරුව සැකකරුවන් වතු අධිකාරීවරයාට අයත් ඩබල් කැබ් රථයෙන්ම පලා ගොස් ඇති බව වාර්තා වේ. මෙම මහා පරිමාණ කොල්ලකෑම සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පලාගිය සැකකරුවන් සහ කොල්ලකන ලද වාහනය සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර ඇති අතර සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.













