2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම නව සංශෝධනය යටතේ ගාස්තු ඉහළ යන්නේ ගෘහස්ථ කාණ්ඩයේ මාසික ඒකක 180ට වඩා වැඩි පරිභෝජනයක් සහිත පාරිභෝජකයින් සඳහා පමණක් වන අතර ඔවුන් සඳහා සියයට 18ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වේ. විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇතිවූ රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟය පියවා ගැනීම මෙයට ප්‍රධාන හේතුව වී ඇතත්, රජය රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට එකඟ වීමත් සමඟ සමස්ත පාරිභෝගිකයින්ගෙන් සියයට 95කටම මෙම ගාස්තු වැඩිවීමේ බලපෑමක් එල්ල නොවන බව කොමිෂන් සභාව අවධාරණය කරයි. ඒ අනුව ඒකක 180ට අඩු පරිභෝජනයක් සහිත බහුතරයක් වූ පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන අතර මෙම සංශෝධනය බලපානු ලබන්නේ මුළු පාරිභෝගික පදනමෙන් සියයට 5ක සුළු පිරිසකට පමණි.













