පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විහාරස්ථානවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කර ඒවා සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් සකස් කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වයඹ පළාත් පුරාවිද්‍යා අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ මෙම චාරිකාවේදී අමාත්‍යවරයා මුල් කිරිගල රාජ මහා විහාරය, නවගත්තේගම එරුණුක්කුළිය රාජ මහා විහාරය සහ ගල්කුලම රාජ මහා විහාරය යන ඓතිහාසික ස්ථාන වෙත ගොස් තත්ත්වය පරීක්ෂා කළේය. එම විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගනිමින් ඉදිරි සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ පුරාවිද්‍යා නිලධාරීන් සමඟ අමාත්‍යවරයා එහිදී සාකච්ඡා පවත්වන ලදී.














