දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැලුණු මහ වැසි සහ හමා ආ තද සුළඟින් හලාවත, මැදවත්ත සහ වැල්ල ප්‍රදේශවල නිවාස 200කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.ඉන්දික සිල්වා මහතා පවසයි.
ආපදා නිලධාරීන් සඳහන් කරන්නේ තද සුළඟ හේතුවෙන් බොහෝ නිවාසවල වහලවල්වලට බරපතළ හානි සිදුව ඇති අතර, නිවෙස් තුළ තිබූ ගෘහ උපකරණ රැසකට ද ඉන් හානි සිදුව ඇති බවයි.
වහලවල්වල තිබූ උළු සහ ඇස්බැස්ටෝස් තහඩු සුළඟට ගසාගෙන යාම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන්, පවතින වර්ෂාවෙන් තාවකාලිකව ආරක්ෂා වීම සඳහා තම නිවෙස්වලට විවිධ පිළියම් යොදමින් ඒවා කඩිනමින් සකසා ගැනීමට පියවර ගන්නා ආකාරය දැකගත හැකි විය.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය හදිසි සහන කටයුතු සැලසීම සඳහා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහන සේවා නිලධාරීන් මේ වන විටත් ප්‍රදේශයේ මෙහෙයුම් අරඹා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී බී.වී.චමින්ද කුමාර මහතා තහවුරු කළේය.













