තලවකැලේ ප්‍රදේශයේ දෘෂ්ටි ආබාධිත පුද්ගලයින්ට සහනදායී මිලකට ඇස් කණ්ණාඩි ලබාදෙන බව පවසමින්, වංචනික ලෙස මුදල් එකතු කළ පුද්ගලයන් සිව්දෙනෙකු කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) භාරයට ගෙන තිබේ.
තලවකැලේ නගරයේ නීතිවිරෝධී ලෙස දෘෂ්ටි ආබාධ සායනයක් පවත්වමින්, එහි පැමිණි රෝගීන්ට විවිධ වර්ගයේ කාච සහ ඇස් කණ්ණාඩි පෙන්වා ඒවා සකස් කරදීම සඳහා මොවුන් විසින් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක (SPHI) එස්. වේලන් මහතා තහවුරු කළේය.
සෞඛ්‍ය බලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ බදුල්ල සහ වැලිමඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ට රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට හෝ කාච ලබාදීමට කිසිදු නිල අවසර පත්‍රයක් හෝ වෛද්‍ය සුදුසුකමක් නොමැති බවයි. මොවුන් මීට පෙර දෘෂ්ටි විශේෂඥ වෛද්‍යවරයකු යටතේ කාලයක් සේවය කර ඇති අතර, එම වෛද්‍යවරයා මියගිය පසු වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෙම සංවිධානාත්මක ජාවාරම රට පුරා සිදුකරගෙන ගොස් තිබේ.
අද (24) දින පැවැති මෙම ව්‍යාජ සායනයේදී රෝගීන්ගෙන් ලබාගත් සියලුම අත්තිකාරම් මුදල් වහාම එම රෝගීන්ටම ආපසු ගෙවන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සැකකරුවන්ට නියෝග කර ඇත. සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මහජනතාව මුළා කළ මෙම සිව්දෙනාට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.
තමන් මුදල් වැය කර සහභාගි වන මෙවැනි වෛද්‍ය සායනවල විශ්වාසනීයත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රථමයෙන් සොයා බලා තහවුරු කරගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රදේශවාසීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.














