අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතව ඇති දැඩි ආර්ථික සහ මූලෝපායික අර්බුදය නිරාකරණය කරමින් යළිත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමේ අරමුණින් කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman Al Thani) ඉරානයේ ටෙහෙරාන් නුවර හදිසි සංචාරයක නිරත වී තිබේ.
ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරක්චි (Abbas Araqchi) හමුවූ කටාර් අගමැතිවරයා, ලෝක තෙල් සැපයුමෙන් පස්සෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍රසන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ පතල් ඉවත් කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක “පූර්ණ ආර්ථික යුද්ධයක්” (All-out economic war) ලෙස ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා හඳුන්වා දී ඇති අතර, මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ හෝමූස් සමුද්‍රසන්ධිය වසා තැබීම නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද නැවත ඉහළ යමින් පවතියි.
















