ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට මෙරට පෙයාර්ස් පලතුර අලෙවි කරගැනීම සඳහා නිසි මිලක් නොමැති වීමෙන් රාගල ප්‍රදේශයේ පෙයාර්ස් ගොවියෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
පෙයාර්ස් අස්වැන්න මිලදී ගැනීමට පසුගිය වසරවල මෙන් මෙම වසරේ වෙළෙන්ඳන් වගා බිම්වලට නොපැමිණෙන බවත්, පැමිණෙන ඇතැම් වෙළෙන්ඳන් අස්වැන්න ඉතා අඩු මිලකට ඉල්ලන බවත් ගොවියෝ පවසති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, මන්ත්‍රීතැන්න, බිංගන්තලාව, ගෝනපිටිය, පලල්පතන, රත්නායක පතන, ගෝනකැලේ සහ සෙන්ජෝන් ආදී ප්‍රදේශවල මෙම වගාව බහුලව සිදු කෙරේ. මෙහි රහන්ගල හා රහන්ගල ග්‍රීන් යන පෙයාර්ස් ප්‍රභේද බහුලව වගා කොට ඇත.
මල් හටගැනීමේ කාලයේ පැවැති අධික සුළං තත්ත්වය නිසා පසුගිය වසරට වඩා මෙවර අස්වැන්න 50%කින් පමණ පහත බැස තිබේ. කෙසේ වෙතත්, පවතින අල්ප වූ අස්වැන්නටද නිසි මිලක් නොලැබීම සහ ස්ථිර වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති. පිටරටින් ගෙන එන පලතුරු සඳහා වෙළෙඳපොළේ ප්‍රමුඛතාවක් ලැබී ඇති බැවින්, අස්වැන්න ලැබෙන ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී විදෙස් පෙයාර්ස් ආනයනය සීමා කරන ලෙසත්, වගාවන් ආරක්ෂා කර ගැනීමට රජයේ සහනාධාර ලබා දෙන ලෙසත් ගොවීහු ඉල්ලා සිටිති.
















