ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රථම ජාතික මධ්‍යස්ථානය වන රාගම ‘අයති’ (AYATI) ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විවේමුණි මහතා එක් විය. ආබාධිත දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන මෙහෙවර එහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
මෙම මධ්‍යස්ථානය මගින් කථන හා භාෂා චිකිත්සාව, භෞත චිකිත්සාව, වෘත්තීය චිකිත්සාව, ශ්‍රවණ ප්‍රතිකාර (Audiology) මෙන්ම මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් සහ පවුල් චිකිත්සාවන් ඇතුළු පුළුල් පරාසයක ප්‍රතිකාර සේවාවන් බහුකාර්ය වෘත්තිකයින් සහ වෛද්‍යවරුන් විසින් ලබා දෙනු ලබයි. දිනකට දරුවන් 60ත් 100ත් අතර ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රතිකාර සඳහා මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන අතර, දැනට දරුවන් 16,000ක් මෙහි ලියාපදිංචි වී ප්‍රතිකාර ලබයි.
මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම් සහ වත්මන් අවශ්‍යතා පිළිබඳව වෛද්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙහි පවතින මානව සම්පත් හා ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි සිය අවධානය යොමු කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පරිශ්‍රයේ අක්කර දෙකක භූමි භාගයක පිහිටි මෙම මධ්‍යස්ථානය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන සහ සමාජ සේවා අමාත්‍යාංශවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන්මලී සුමනසේන මහත්මිය ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.














