27 April 2024
#දේශීය

රාගම මරණයත් බාල ඖෂධයක් නිසාදැයි බරපතල සැකයක් – රවි කුමුදේශ්

රාගම රෝහලේදි පසුගිය සතියේ මියගිය රෝගියෙකු මිය යෑමට හේතුව ඇයට ලබා දුන් ප්‍රතිජීවක එන්නතෙහි ගැටළුවක් නිසා ඇතිවූ ආසාත්මිකතාවයක් නිසාදැයි යන බරපතල සැකයක් මතු වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ‍

ඒ මහතා පැවසුවේ ඇමොක්සිග්ලොව් නැමති මෙම ඖෂධය හේතුවෙන් මීට පෙරද බරපතල ආසාත්මිකතාවයන් ඇතීවීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති නමුත්, ඒවා සාමාන්‍ය ආසාත්මිකතාවයන් සේ සලකා එම පැමිණිලි බැහැරකර ඇති බැවින් මේ පිළිබඳව විධිමත් සායණික විමර්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ජා ඇල උතුරු බටගම පදිංචිව සිටි එක් දරු මවක් වන අතර විෂබීජයක් නිසා ඇයට ලබා දුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් නිසා ඇය මිය ගොස් ඇති බව මරණ පරීෂණය මගින් තහවුරු වී ඇති බවද වාර්තා වන බව කුමුදේශ් මහතා කියා සිටියේය.

තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම එම කමිටුවෙහි විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහාද සාමාජිකයින් පත් කිරීම මගින්, එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කල යුතු බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *