බාහිරින් එල්ල වන දැඩි දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් හමුවේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව පවසමින් රයිගම් උඩුගහපත්තුවේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. සභාපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දැනුම් දී ඇත්තේ 2025 මාර්තු මාසයේදී තමන් ධුරයට පත්වීමෙන් පසු සියලු නිලධාරීන්ගේ සහයෝගයෙන් මූල්‍ය හා පරිපාලන අර්බුද රැසක් ජයගෙන, කළුතර දිස්ත්‍රික්කයේ සමිති 10 අතරින් ඉහළම ස්ථානයකට මෙම සමිතිය ඔසවා තැබීමට හැකි වූ බවයි. බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස්වරයාගේ පවා ඇගයීමට ලක්වූ මෙම සමිතිය, වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් නිසා ජූලි 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තමන් සභාපති ධුරයෙන් ඉවත් වන බව ඔහු පවසයි.
මේ වනවිට සමිතිය දැඩි දේශපාලන මැදිහත් වීමකට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳව උප සභාපතිවරයා ද අවස්ථා කිහිපයකදීම සිය දැඩි අප්‍රසාදය සහ විරුද්ධත්වය පළ කළ බවත් එම ලිපියේ සඳහන් වේ. තමන්ට උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දිය යුත්තේ සමූපාකාර නීතිය සහ ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් ඇති පරිණත පුද්ගලයින් මිස කිසිවක් නොදන්නා දේශපාලන හිතවතුන් නොවන බව සභාපතිවරයා අවධාරණය කරයි. එවැනි බාහිර පුද්ගලයින් ඉදිරියේ රූකඩයක් වෙමින් සභාපති ධූරය හෑල්ලුවට ලක් කර ගනිමින් තනතුරේ රැඳී සිටීමට ඇති අකමැත්ත නිසා තමන් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














